ලෝකයේ ලොකුම පහන් කූඩුව මිනුවන්ගොඩින්.

ලෝකයේ ලොකුම පහන් කූඩුව මිනුවන්ගොඩින්.

මිනුවන්ගොඩ, ගල්කන්ද, නවලෝක හන්දියේදී 2026 පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කරන ලද 'සක්වල මහා පහන් කූඩුව' ලොව විශාලතම පහන් කූඩුව ලෙස නිල ලෝක වාර්තාවක් පිහිටුවයි.

ඒ අනුව, මිනුම් කිරීම, තාක්ෂණික ඇගයීම, ලේඛනගත කිරීම සහ ස්වාධීන සත්‍යාපනය ඇතුළත් පුළුල් ක්‍රියාවලියකින් අනතුරුව, සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනය විසින් එය 'ලොව විශාලතම පහන් කූඩුව' ලෙස නිල වශයෙන් පිළිගෙන තිබේ.

ඊට අදාළ සහතිකපත සහ කුසලානය පහන් කූඩුවේ නිර්මාතෘ, මිනුවන්ගොඩ, ගල්කන්ද පදිංචි සුරංග උදය කුමාර මහතා වෙත සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනය විසින් පසුගිය 16 වැනිදා පහන් කූඩුව ස්ථාපිත කර ඇති පරිශ්‍රයේදී පිරිනමනු ලැබීය.

නිල වාර්තා මිනුම් අනුව පහන් කූඩුවේ උස අඩි 68.4ක් වන අතර පළල අඩි 45.5කි.

'කූඩුවම බණ කතාවක්' යන තේමාව යටතේ නිර්මාණය කර ඇති 'සක්වල මහා පහන් කූඩුව' කලාත්මක විශිෂ්ටත්වය, ප්‍රඥාව සහ ශ්‍රද්ධාව පිළිබිඹු කරන සුවිශේෂී නිර්මාණයකි.

මහා භද්‍ර කල්පය සහ බුදු දහමේ සඳහන් සක්වල හෙවත් මහා චක්‍රාවාටය සංකේතාත්මකව නිරූපණය කරන මෙම දැවැන්ත පහන් කූඩුව ඉදිරියේදී ලොව විශාලතම පහන් කූඩුව ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කර ගැනීම සඳහාද අයදුම් කර තිබේ.

සම්පූර්ණ පහන් කූඩුවේ බර කිලෝග්‍රෑම් 10,000කට ආසන්න වන අතර, එය ටොන් 10කට ආසන්න බරකින් යුත් යකඩ සැකිල්ලක් මත නිර්මාණය කර ඇත. යකඩ කොටස් නැවීම සඳහා අවශ්‍ය බොක්ස් බාර් මැෂිම පවා ප්‍රදේශවාසී තරුණයන් විසින්ම නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

ආලෝක පද්ධතිය මගින් විවිධ ආලෝක රටා 50කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කෙරෙන අතර, LED ආලෝක පටි රෝල් 35කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා භාවිත කර තිබේ. සාමාන්‍ය පහන් කූඩුවල භාවිත වන වර්ණ තුන ඉක්මවා යමින් මෙහිදී රතු, කහ, කොළ, නිල් සහ සුදු යන වර්ණ පහක් භාවිත කර ඇත.

පහන් කූඩුව සහ ඊට අදාළ පහසුකම් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 1කට වැඩි මුදලක් වැය වී ඇති අතර, ඉදිකිරීම් කටයුතු සඳහා පලංචි 800කට අධික සංඛ්‍යාවක් භාවිත කර තිබේ.

පසුගිය වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම පහන් කූඩුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සම්පූර්ණයෙන්ම බිමට සමතලා වීමෙන් අනතුරුව, ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය හා දායකත්වය මත යළි ස්ථාපිත කිරීම විශේෂත්වයකි.

Post Media

Media Image
Media Image
Media Image
Media Image
Media Image

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent