බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම ඉහළ ගිහින්.

බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම ඉහළ ගිහින්.

පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 05ක කාලසීමාව තුළ දී බාලවයස්කාර දැරියන් ගැබ්ගැනීම ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියයි.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ එම කාලසීමාව තුළ ලිංගික අතවරවලට ලක් වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් තිස්දෙදෙනෙක් ගර්භණී තත්ත්වයට පත්ව ඇති බවයි.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය මඟින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, 2023 වර්ෂයේ දී මෙවන් අතවරයන්ට ලක් වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ් ගැනීම් 11ක් පමණක් වාර්තා වී තිබූ නමුත්, මේ වන විට ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් 32ක් වාර්තා වීම ඉතා දරුණු තත්ත්වයක් බවයි.

මෙම සංඛ්‍යාව ඇතුළත සඳහන් වන්නේ වාර්තා වූ ගැබ්ගැනීම් පමණක් වන අතර අඩු වයසෙන් ගැබ්ගැනීමට ලක්වී නීති විරෝධී ලෙස ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණයන් මෙම දත්තවලට ඇතුළත් නොවන බව ද ඔහු පවසයි.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා සිසුවියන් අඩු වයසින් ගැබ්ගැනීම මේ වන විට සුලබ සිද්ධියක් බවට පත්ව ඇති අතර, පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබාදිය හැකි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීමත්, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දරුවන් අතර ද දෙමාපියන් සහ දරුවන් අතරද පවතින පරතරයද මෙයට හේතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙයි.

දැනට පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබාදෙන සිධාන්තික වැඩසටහන්වලින් ඔබ්බට ගොසින් විෂය ප්‍රවීණයන් සමඟ ප්‍රායෝගිකව විෂය කරුණු බෙදාදීම සම්බන්ධව විෂය මාලා සංවර්ධනයේ දී අවධානයට ලක්විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Note: We do not share your email for posting a comment.