දිල්ලි ප්‍රහාර සැලසුම.

දිල්ලි ප්‍රහාර සැලසුම.

ඉන්දියාවේ දිල්ලියේ සිදුවූ කාර් බෝම්බ පිපිරීමෙන් පසුව අල්-ෆලාහ් විශ්වවිද්‍යාලය පිළිබඳ අංශ ගණනාවක් ඔස්සේ එරට ආරක්ෂක අංශ විසින් ගැඹුරු විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එරට බුද්ධි අංශ විසින් අනාවරණය කරගත් බහු-රාජ්‍ය ත්‍රස්ත ජාලයකින් යුතු  ‘සුදු කරපටි ත්‍රස්තවාදී මොඩියුලයක්’ පිළිබඳ තතු හෙළිවීමෙන් පසුව සිදුවූ දිල්ලි පිපිරුම පිටුපස සිටින වෛද්‍යවරුන් රැසක් අදාළ විශ්ව විද්‍යාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක බවට හෙළිවීමයි මෙම විමර්ශනයට මූලික වී ඇත්තේ.


මේ වනවිට පිපිරුම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ගණනාවක් ඇතුළු 15ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 3 දෙනකු රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

සැකකරුවන් අතර වෛද්‍යවරුන් පමණක් නොව, පාබල සොල්දාදුවන්, රසායනාගාර කාර්මික ශිල්පීන්, ජලනල සහ විදුලි කාර්මිකයන් සිටින කැළඹිලි සහගත ජාලයක් හෙළිවීම විශේෂත්වයක්.

අල්-ෆලාහ් විශ්වවිද්‍යාලයේ උපකුලපති භූපින්දර් කෞර් අද පැවසුවේ ෆරිදාබාද් අත්අඩංගුවට ගත් වෛද්‍යවරුන් එහි සේවය කිරීම හැරුණු කොට එම ආයතනයට වෙනත් කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

වෛද්‍යවරුන් සතුව තිබී ඇමෝනියම් නයිට්රේට් සහ ආයුධ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතත්  සරසවියට පරිශ්‍රය තුළ එවැනි රසායනික ද්‍රව්‍ය ගබඩා කර නොමැති බව උපකුලපති අවධාරණය කළා.

"එවැනි සියලු  චෝදනා අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඇතැමුන් විසින් චෝදනා කරන ලද එවැනි රසායනික ද්‍රව්‍ය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ භාවිතා කිරීම, ගබඩා කිරීම හෝ හැසිරවීම සිදු වන්නේ නැහැ. එවැනි රසායන විශ්වවිද්‍යාල රසායනාගාර MBBS සිසුන්ගේ අධ්‍යයන හා පුහුණු අවශ්‍යතා සහ අනෙකුත් බලයලත් පාඨමාලා සඳහා පමණක් භාවිතා කරනවා විතරයි" යනුවෙන් ද උපකුලපතිනිය පවසා තිබෙනවා.

හරියානාහි ෆරීඩාබාද් දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයින් ප්‍රමුඛ දෞජ් ගම්මානයේ අක්කර 76ක වපසරියක මෙම සරසවිය පිහිටා තිබෙනවා. එහි රෝහලක් ද පවතින බව සඳහන්.

විමර්ශනයේදී පාකිස්තානය පිටුබලය දෙන ක්‍රියාකරුවන්ගේ අණ පරිදි ක්‍රියා කරන උගත් පුද්ගලයන් සඳහා විශ්වවිද්‍යාලය ආරක්ෂිත තෝතැන්නක් බවට පත් වූයේ කෙසේද යන්න ගැඹුරින් සොයා බලන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

දිල්ලියේ රතු කොටුවේ මෝටර් රථයක් පුපුරායාමෙන් සිදුවූ මරණ ගණන පිළිබඳ ඉන්දියාවේ මාධ්‍ය වාර්තා සහ ජාත්‍යන්තර පුවත්වල පළවන්නේ වෙනස් වූ සංඛ්‍යා දත්තයි. පිපිරුමෙන් පුද්ගලයන් 8ක්, 9ක්,10ක්, 12ක් හෝ 13ක් හෝ ආදී වශයෙන් මියගිය ගණන් වෙනස් ලෙස පළකර තිබෙනවා.

කෙසේවෙතත් 20කට අධික පිරිසකට ඉන් තුවාල සිදුවුණා.

පසුගිය සඳුදා සවස් වරුවේ දිල්ලියේ රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ අධි-තීව්‍රතාවකින් යුත් පිපිරීමක් පුපුරණ ද්‍රව්‍ය පටවා තිබූ මෝටර් රථයක සිදුවුණා.

පපුපුරා ගියේ හයුන්ඩායි i20 රථයක්. එය ධාවනය කළ බවට සැක කෙරෙන, තවමත් අතුරුදන් සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ පුල්වාමා ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වන මොහොමඩ් උමාර් නබි, අල්-ෆලා විශ්වවිද්‍යාලයේ සහය මහාචාර්යවරයෙක්.

මෙම පිපිරීම සිදුවීමට පෙර, විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් අය අතර සිටි වෛද්‍ය මුසම්මිල් අහමඩ් ගනායි ද අල්-ෆලා විශ්වවිද්‍යාලයේ සේවය කරන්නෙක්.

වෛද්‍ය අදීල් මජීඩ් රතාර් ද එම සරසවි රෝහලේම සේවය කරනවා.

අත්අඩංගුවට ගැනීම් සමගම, ජායිෂ්-ඊ-මොහොමඩ් සහ අන්සාර් ගස්වත්-උල්-හින්ද් ඇතුළත් මෙම ත්‍රස්තවාදී මොඩියුලය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර, එය කාශ්මීරය, හරියානා සහ උත්තර් ප්‍රදේශ් දක්වා පැතිරී තිබෙන බව සඳහන්.

දිල්ලි පිපිරුමට පෙර ‘සුදු කරපටි’ ත්‍රස්ත සෝදිසි මෙහෙයුමේදී පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900 ක් ද සොයාගෙන තිබුණා. ඒ අතර ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 350ක් ද තිබුණු බව විමර්ශකයින් හෙළිකරනවා.

ඊයේ දිනය පුරා පොලිසිය විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ පවත්වා ඇති අතර පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

අල්-ෆලා විශ්වවිද්‍යාලය හරියානා පුද්ගලික විශ්වවිද්‍යාල පනත යටතේ හරියානා ව්‍යවස්ථාදායක සභාව මඟින් පිහිටුවන ලද්දක්. මෙය 1997 දී ඉංජිනේරු විද්‍යාලයක් ලෙස ආරම්භ කර 2013 ලද්දක්. විශ්වවිද්‍යාලය දිල්ලි ජාමියා මිල්ලියා ඉස්ලාමියා සිට කිලෝමීටර 30 ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. විශ්වවිද්‍යාලය කළමනාකරණය කරනු ලබන්නේ 1995 දී ස්ථාපිත කරන ලද අල්-ෆලා පුණ්‍යාධාර භාරයයි. ඊට අනුබද්ධ අල්-ෆලා වෛද්‍ය විද්‍යාලය ද පවතිනවා. එහි වෛද්‍යවරුන් නොමිලේ රෝගීන්ට ප්‍රතිකාර කරන ඇඳන් 650 කින් යුත් කුඩා රෝහලක් ද පිහිටා තිබෙනවා.

පිපිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුල්වාමා දිස්ත්‍රික්කයේ සම්බූර් ගම්මානයේ පදිංචිකරුවන් වන සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිතුරෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

රඳවාගෙන ඇති තිදෙනා පිළිවෙළින් අවුරුදු 30, 35 සහ 40 ගණන්වල පසුවන ආමිර් රෂීඩ් මිර් (ජලනල කාර්මිකයෙක්),  ඔහුගේ වැඩිමහල් සොහොයුරු උමර් රෂීඩ් මිර් (විදුලි කාර්මිකයෙක්) සහ ඔවුන්ගේ මිතුරා වන තාරික් අහමඩ් මලික් (ආරක්ෂක නිලධාරියෙක්) ද වනවා.

පිපිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ‌වෛද්‍ය උමර් නබි වෙත හරියානා ලියාපදිංචිය සහිත i20 මෝටර් රථය විකුණා ඇත්තේ ජලනල කාර්මිකයෙකු වන ආමිර් රෂීඩ් මිර් විසින්.

මේ අතර, ජම්මු හා කාශ්මීර පොලිසිය විසින් පුල්වාමා දිස්ත්‍රික්කයේ බන්ඩ්සූ ගම්මානයේ පදිංචි තවත් වෛද්‍යවරයෙකු වන ‌වෛද්‍ය සජාඩ් අහමඩ් මල්ලා රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා. ඔහු, දිල්ලි පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්වන කාශ්මීරයේ සිව්වන වෛද්‍යවරයා සහ පුල්වාමා දිස්ත්‍රික්කයේ තුන්වන වෛද්‍යවරයායි.

වෛද්‍ය සජාඩ් ද ෆරීඩාබාද්හි අල්-ෆලා විශ්වවිද්‍යාලයේ සේවය කරනවා.

ඔහු සිය විවාහය සඳහා නිවසට පැමිණ සිට ඇති අතර දිල්ලි මෝටර් රථ පිපිරීම් සමඟ ඔහුගේ සම්බන්ධතා විමර්ශනය කෙරෙනවා.

පොලිසිය සැකකරන්නේ, ආමිර් මෑතකදී කාශ්මීරයෙන් පිටතට ගොස් i20 රථය තම නමින් මිලදී ගෙන එය ආචාර්ය උමර් නබිට භාර දී තිබෙන්නට ඇති බවයි. ආමිර් විසින් තාරික් මලික්ගේ නමින් ලියාපදිංචි කරන ලද SIM කාඩ්පතක් භාවිතා කර තිබිය හැකි බව ද විමර්ශකයන්ගේ අදහයි.

මේ අතර, සැකකටයුතු පුද්ගලයන්ගේ සහ වාහනවල ගමනාගමනය වැදගත් මාර්ගවල වාහන සෝදිසි කිරීම් දැඩි කර තිබෙනවා.

ලාල් කිලා මෙට්‍රෝ දුම්රිය ස්ථානය තවදුරටත් වසා දමා තිබෙනවා.

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent

ප්‍රසන්නට ඇප.

Akila Nadee | 4 weeks ago