කංසා වැවීමට අවසර දෙයි.

කංසා වැවීමට අවසර දෙයි.

                 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදේශීය ආයෝජකයන්ට දැඩි කොන්දේසි යටතේ නීත්‍යානුකූලව කංසා වගා කිරීමට රජය අවසර ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් අධීක්ෂණය කෙරෙන අතර, එහි මූලික අරමුණ වන්නේ කංසා ඇසුරෙන් ඖෂධ නිෂ්පාදනය හා පර්යේෂණ කටයුතු සඳහා පමණක් යොදාගන්නා නිෂ්පාදන අපනයනය කිරීමය . වර්තමානයේ කංසා සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති අතර තත්ත්වයෙන් ඉහළ කංසා අපනයනය මගින් විශාල විදේශ විනිමයක් ඉපැයිමට හැකි බව විද්වතුන් කලක සිට පෙන්ව දෙති.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් 37ක් අතරින් සුදුසුකම් සපුරාලූ විදේශීය ආයෝජකයන් 7 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ට මූලික වශයෙන් මාස 6ක තාවකාලික බලපත්‍රයක් නිකුත් කර තිබේ. මෙම කාලසීමාව තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉදිරියේදී වගා කාලය දීර්ඝ කිරීමට නියමිතයි.

ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා එක් ආයෝජකයකු විසින් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මූලික ආයෝජනයක් සිදු කළ යුතු වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 2ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කිරීම අනිවාර්ය වේ.

මෙම තොරතුරු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන විසින් තහවුරු කර ඇත.

ඒ අනුව මිරිගම ප්‍රදේශයේ පිහිටි අක්කර 64ක භූමි ප්‍රමාණයක් මෙම වගාවන් සඳහා වෙන්කර ඇත. මෙම වගාවන් සිදු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසිවලට අනුකූලව දැඩි ආරක්ෂිත විධිවිධාන යටතේය.

ඒ අනුව, වගා බිම වටා ශක්තිමත් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට අමතරව, විශේෂ කාර්ය බළකායේ (STF) සහ ශ්‍රී ලංකා පොලීසියේ ආරක්ෂාව ලබා ගැනීමද අනිවාර්ය වේ.

මෙම ව්‍යාපෘතිය මගින් වගා කරන කංසා ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගෙන සම්පූර්ණයෙන්ම අපනයනය කළ යුතු අතර, කංසා ගසේ කිසිදු කොටසක් (ඇට, කොළ, මුල්) බාහිර පරිසරයට මුදා නොහැර විනාශ කිරීමට නීති රෙගුලාසි පනවා ඇත.

1929 අංක 17 දරන විෂ වර්ග, අබිං හා අන්තරායදායක ඖෂධ ආඥාපනත අනුව කංසා (Cannabis sativa) යනු ශ්‍රී ලංකාවේ නිතිය මගින් වැවීම, ආනයනය, අපනයනය, විකිණීම, සන්තකයේ තබාගැනීම තහනම් කරන ලද ද්‍රව්‍යයකි. කංසා පිළිබඳව සමාජයේ සංවාදයක් ඇරඹීමට අචාර්ය වසන්ත සේන වැලිඅංග මුල්විය. ඔහු විසින් ත්‍රෛලෝක විජයා නම් පරයේෂණ ග්‍රන්ථයක් රචනාකළ අතර එමගින් සමාජයේ කංසා ශාකය ගැන පැවති දුර්මත බිඳ වැටිම ආරම්භ විය.

පසු කාලයක පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ කංසා වගාව නීතිගත කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලදි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය 2022 අයවැය යෝජනා මගින් අපනයනය සඳහා කංසා වගා කිරීමට යෝජනාකළ අතර ඒ සදහා වන නීත්‍යානුකූල රාමුව සැකසීමට ඔහු මුල් විය.

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent