අගවිනිසුරුවරයාගේ රථය විඩියෝ කළ පුද්ගලයකු රිමාන්ඩ්.

අගවිනිසුරුවරයාගේ රථය විඩියෝ කළ පුද්ගලයකු රිමාන්ඩ්.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ගමන්ගත් මෝටර් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි රථ වීඩියෝගත කළ බව කියන පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියකු මෙම මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (8) නියෝග කළේය.

එම රථ වීඩියෝ ගත කළ ජංගම දුරකථනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසද අධිකරණයෙන් නියම විය.

සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල් 77710 ධනුෂ්ක සම්පත් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අගවිනිසුරුවරයා සිය ආරක්ෂක නිලධාරීන්ද සමග කොළඹ ග්‍රෙගරි ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී එම නිවස අසල සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු අගවිනිසුරුවරයා ගමන් ගත් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂක රථය සැකකාර පුද්ගලයා විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ කරන අයුරු ආරක්ෂක නිලධාරීන් විසින් දැක ඇති බවය.

පසුව අගවිනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා එම නිලධාරීන් බාරයට ගෙන කුරුඳු වත්ත පොලිසියට ඉදිරිපත්කර ඇති බවද කොස්තාපල්වරයා අධිකරණයට දැන්වීය.

සැකකාර පුද්ගලයා වීඩියෝ ගත කළ දර්ශන වෙනත් පාර්ශවයක් වෙත යවා තිබේද එසේ යවා තිබේ නම් කුමන හේතුවක් නිසාද යන්න යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසටද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අගවිනිසුරුවරයා හා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ගමන්ගත් රථය තම සේවාදායකයා ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති නමුත් කිසිදු අපරාධ කටයුත්තක් සම්බන්ධයෙන් ඔහු එසේ කර නොමැති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහු ඇප මත මුදා හරින ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා මෙම 10 දින දක්වා එසේ රක්ෂිත බන්ධනාගාරගත කළේය.


.

Note: We do not share your email for posting a comment.